‘මංගල තෑග්ග 02’හි චරිතයක් මා නමින් ලියවීම පුදුමයක්

මුලින්ම අලුත් වැඩකටයුතු සහ අලුත් තොරතුරු ගැන කතා කළොත්?
මංගල තෑග්ග ටෙලි නිර්මාණය ඇතුළුව තවත් ටෙලි නාට්‍ය කිහිපයක රංගනයේ යෙදුණා. ඒ වගේම චිත්‍රපටයකත් රඟපෑමට නියමිතයි නුදුරේදීම.

‘මංගල තෑග්ග 02’ 09 වැනි දා රිලීස් වෙනවා නේද?
එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ මංගල තෑග්ග චිත්‍රපටයේ දිගුවක් ලෙස මංගල තෑග්ග 02 ටෙලි නිර්මාණයක්ව සනත් ගුණතිලකයන් විසින් අධ්‍යක්ෂණයේ යෙදෙනවා. මංගල තෑග්ග චිත්‍රපටය විශිෂ්ට නිර්මාණයක් ලෙස කාගේත් ආදරයට පාත්‍ර වුණා. එහි රසඥතාව හරි ඉහළ මට්ටමක තිබුණා. මං නැවත  මංගල තෑග්ග 02 හි කොටස්කාරියක් වන්නේ සනත් ගුණතිලකයන්ගේ ආරාධනාවක් මත. පත්තිනි චිත්‍රපටයේ මගේ රංගනය ගැන ඔහුට තිබූ තක්සේරුව තමයි මංගල තෑග්ග දෙකෙහිත් චරිතයක් මා නමින් ලියැවෙන්න හේතුවක් වුණේ.

මංගල තෑග්ග 01 හි හා මංගල තෑග්ග 02 හි ඔබේ චරිත පිළිබඳව කතා කරමු.
මංගල තෑග්ග 01 චිත්‍රපටයේ මගේ චරිතය වුණේ සනත්ගේ නංගිගේ චරිතය. පුළුල් පරාසයක විහිදුණු චරිතයක් ‍නෙවෙයි ඒක. නමුත් මංගල තෑග්ග 02 ටෙලි නිර්මාණයේ මගේ චරිතය පුළුල් පරාසයක විහිදුණු එකක්. කලින් නංගිගේ චරිතයට සාධාරණයක් ඉටු කළත් දැන් අපේ වයසත් එක්ක ඒ තත්ත්වය වෙනස්. නමුත් මංගල තෑග්ග 02 හි මගේ චරිතයත් ඔහුගේ නැගණියමයි. එහි දී දරුවන් දෙදෙනකුගේ විවාහක නැගණිය විදියට චරිතය වෙනස් වෙනවා. නිමල් ඇන්තනි මගේ සැමියා ලෙස රංගනයේ යෙදෙනවා. ධනයට, බලයට ගිජු චරිතයක් මගේ සැමියාට තියෙන්නේ.

මගේ ලොකු අයියගේ චරිතය හරි ගාම්භීර චරිතයක්. ලොකු අයියට රඟපාන්නේ ක්ලීටස් මෙන්ඩිස්. කෙසේ නමුත් මේ චරිතයන්ට හාත්පසින්ම වෙනස් මගේ අනිත් අයියා. ඒ කියන්නේ සනත් අයියා. සැමියාගේ පැත්තෙනුත් අයියාගේ පැත්තෙනුත් හිතලා මගේ බලා‍පොරොත්තුත් අතර දෝලනය වන චරිතයක් තමයි මට තියෙන්නේ.

ඒ චරිත පිළිබඳව ඔබට මොනවද හිතෙන්නේ?
මංගල තෑග්ග 02 හි මං පාර්ශ්වයන් දෙකක් සමබර කරගෙන ජිවත්වෙන කෙනෙක්. නීතිගරුක අයියා කෙනෙක්ට සහ ආදරණීය අයියා කෙනෙක්ට නංගි වෙන මං නිතරම මගේ සැමියා නිවැරදි මාර්ගයට ගන්නත් උත්සාහ දරනවා. ගොඩක් ආසාවෙන් රංගනයේ යෙදුණු චරිතයක් විදියට පෙන්වා දෙන්න පුළුවන්.

මංගල තෑග්ග 01 මීට වසර 30කට පෙර නිර්මාණය වෙන්නේ. ඒ කාලය තුළ නැවත මෙහි රංගනයේ යෙදීමේ දී ඔබට දැනෙන හැඟීම මොන වගේද?
ඇත්තටම මං මුලින්ම පුදුම වුණා නැවත මෙහි චරිතයක් මා නමින් ලියැවීම ගැන. පාර්ශ්වයන් තුනකගේ බලපෑමට මගේ චරිතය ලක් වෙනවා. එතැන දී 2තමයි මං මෙහි විශේෂ වෙන්නේ. සනත් අයියට සුහදත්වය මුසු ආදරයකුත් ක්ලීටස් අයියට ගෞරවයකුත් තමයි නංගි හැටියට මගෙන් ලැබෙන්න්. මගේ දුවයි සනත් අයියගේ පුතයි එකතු කිරීමේ දී ඇතිවන හැප්පීමකුත් මෙහි දකින්න ලැබෙනවා. හරි ආසාවෙන් නැවත ඔහුගේ විවාහක නැගණිය ලෙස මං මෙහි රඟපෑවා. හරි උදේ‍යා්ගිමත් හැඟීමක් මෙහි දී මං වින්දා මගේ රංගනයේදී.

නවක නළු නිළියන් රැසක් මෙහි රංගනයේ නිරත වෙනවා. ඔවුන් සමග කටයුතු කිරීම කොයි වගේ අත්දැකීමක් වුණාද?
සරලවම කීවොත් ‘හරිම හොඳ ළමයි ටිකක්’ කියලා මට කියන්න පුළුවන්. තරුණ මුහුණු ගොඩක් අපි එක්ක කටයුතු කළේ. කිසිදු අපහසුතාවක් ඔවුන්ටවත් අපිටවත් දැනුණේ නෑ. ඔවුන් හරිම දක්ෂයි. ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් සමග සුහදව සහයෝගීව එකට වැඩ කරන්න නව පරපුරක් විදියට ඔවුන්ගේ වටිනාකම අපේ ක්‍ෂේත්‍රයේ දියුණුවට ගොඩක් වැදගත්. ඔවුන්ටත් හොඳ අත්දැකීමක් වුණා මේ නිර්මාණයට දායක වීම.

මංගල තෑග්ග චිත්‍රපටය වගේම ටෙලි නාට්‍යය යන නිර්මාණ දෙකේම දකින්න ලැබෙන චරිත ගැන කතා කළොත්?
මංගල තෑග්ග චිත්‍රපටයේ චරිතයන්ගේම දිගුවක් ලෙස තමයි ටෙලි නාට්‍යය තුළත් රංගනයේ යෙදුනේ. කාලයත් සමග ජීවිතවල සිදුවන වෙනස්වීම් ඒ චරිත තුළ හසුරුවලා තිබුණා. නියමාකාරයෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය, මැණිකේ අත්තනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි වගේ චරිත විශාල ප්‍රමාණයක් මෙහි රංගනයේ යෙදුණා. ඊට අමතරව රංගනයේ යෙදුණු තරුණ, නවක පිරිසක් මෙහි සාර්ථකත්වයට ඔවුන්ගේ සාධාරණත්වය උපරිම අයුරින් ඉටු කළා. මේ සඳහා හැම අතින්ම දායක වුණු සියල්ලන්ගේම කැපවීම නම් වශයෙන් මතක් නොකළත් මං අගය කොට සලකනවා.

සනත් ගුණතිලක වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ කටයුතු කිරීම ගැන ඔබේ අදහස මොන වගේද?
කිසිදු පීඩනයකින් තොරව සැහැල්ලුවෙන් නිදහස් මනසකින් යුතුව රඟපාන්න අවැසි වටපිටාව ඔහු හරි අපූරු ලෙස ගොඩනැගුවා. රංගන ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් සේම තරුණ, නවක පිරිස් ද ආදරණීය ලෙස අවනත කරවාගෙන අවශ්‍ය රංගන කුසලතාවන් ඉස්මතු කරලීමේ  ශක්‍යතාව ඔහුට තියෙනවා. හැමෝම තුළින් ඔහුට ආදරයක් වගේම ගෞරවයක් ද හිමි වුණා කීවොත් ඒක අරුමයක් ‍නෙවෙයි. මානසික පීඩනයක්, ආතතියක් කිසිදු මොහොතක නොදැනෙන්න ඔහු අපේ රංගනයන් සියුම් ලෙස උකහා ගත්තා. මං හරහා එවැනි චරිතයක් මාව විශ්වාස කොට ගොඩනැගීම පිළිබඳව මං ඔහුට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ නමත් රැකෙන විදියට ඔහු කටයුතු කළා කියන හැඟීම අපි කාටත් තියෙනවා. සනත් නන්දසිරි වැනි සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ රංගනයත් ඔහු විශිෂ්ට අයුරින් උකහා ගත්තා මෙහි සාර්ථකත්වයට.

ඔබ ඔබේ රඟපෑම ගැන තෘප්තිමත්ද?
මගේ රංගනය ගැන මං තෘප්තිමත්. නමුත් තාම ඒ රංගනය දකින්න අවස්ථාවක් ලැබුණේ නැහැ. සනත් අයියා වගේම නිෂ්පාදකතුමා පවා මගේ රඟපෑම අගය කළා. මං මගේ උපරිමය හොඳට කළා කියලා. කෙනෙක්ගේ හිත හදන්න කතා කරන ස්වරූපයකින් නැතුව මගේ කැපවීමට උපරිම ඇගැයීමක් ඔවුන් මට ලබා දුන්නා.

100ක් මං තෘප්තිමත් මගේ රඟපෑම පිළිබඳව. බලමු එය තහවුරු කරගන්න පුළුවන් මෙහි විකාශන කටයුතු ආරම්භ වුණාම.

ඉදිරි වැඩකටයුතු මොනවාද?
නුදුරේම ෂූටින් පටන් ගන්නවා හිරු නාළිකාවේ ටෙලි නාට්‍යයක. තවත් නිර්මාණයකට ආරාධනා ලැබුණා. චන්දන එදිරිසිංහයන් එහි අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කරනවා.

සිනමා සිත්තමක් ලෙස එය දැකගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් සැප්තැම්බර් මාසයේ සිට එහි මූලික වැඩකටයුතු ආරම්භ වෙනවා. එහිත් සුවිශේෂී චරිතයක් මට ලැබිලා තියෙන්නේ. ඒ වගේ මං එක දිගටම රංගන කටයුතු කරගෙන යන්නේ නැහැ.

නිර්මාණ දෙකකින් විතර පස්සේ කෙටි විරාමයක් ඇතුව තමයි නැවත රංගනය සඳහා යොමුවෙන්නේ. සැල්ලුවෙන් සතුටින් ඉං ඉතින් වැඩකටයුතු කරගෙන යනවා.

නඳුනි ආරියවංශ