ලංකාව ලස්සන වුණාට ජීවත්වෙන මිනිස්සු ලස්සන නෑ – පේෂලා

හදිසියේම ලංකාවට එන්න තීරණය කළේ ඇයි?
එහෙම හදිසියෙන් ආපු ගමනක්ම ‍නෙවෙයි. සත්තු වෙනුවෙන් වැඩකට මාත්  සම්බන්ධවෙලා වැඩකරනවා. ඒවගේම ළමයි කිහිප දෙනෙකුට අධ්‍යාපන වශයෙන් උදව් කරන්න  හිතුවා. ඒ වැඩ නිසයි ලංකාවට එන්නේ.

ඒ රටෙත් සත්තු වෙනුවෙන් වැඩකරනවද?
ඔව්. එහෙදි ‍පොඩි ‍පොඩි වැඩ කිහිපයකට උදව් කරනවා. දිගටම ඒ සඳහා සම්බන්ධ වෙන්න තීරණය කරලා තියෙනවා.

‍පොඩි කා‍ලේ ඉඳන්ම සත්තුන්ට ආදරේද?
ඔව්. මම හරිම කැමතියි පාරේ හිටපු බල්ලො, පූසෝ මම ගෙනත් ඇතිකළා. හාවෝ වගේම එළුවෙකුත් හිටියා. අපේ ගෙදර මරන්න ගිය සත්තු  මම බේරගත්තා. සත්තුන්ට වෙන හිංසා එහෙම දැක්කට පස්සේ හිතුණා උන්ට උදව් කරන්න ඕන කියලා.

තවමත් නිරූපණයට සම්බන්ධ වෙලා වැඩ කරනවද?
ඔව්. නිරූපණයෙන් ඈත් වෙලා නැහැ. මේ දවස්වල ඒ වැඩත් එක්ක මම ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ.

නිරූපණ වැඩවලට දෙන අවධානය වෙනදාට වඩා වැඩිද?
ගිණුම් අංශයට සම්බන්ධ රැකියාවක නිරත වන නිසා නිරූපණයට  දෙන අවධානය අඩුවෙලා තියෙනවා. මම ගිණුම් අංශයට තමයි වැඩියෙන් කැමති. විනෝදාංශයක් විදියට තමයි නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නේ.

ඒ රටේ නිරූපණ ක්ෂේත්‍රයට මොනවගේ පිළිගැනීමක්ද තියෙන්නේ?
මැදපෙරදිග නිරූපණයට සම්බන්ධ වෙන්න අමාරුයි. විදේශ රටවල අය තමයි ඒ වැඩවලට සම්බන්ධ  වෙලා ඉන්නේ. හොඳට කැපවීමෙන්  වැඩ කරනවා නම් ඉහළ වටිනාකමක් වගේම හොඳ පිළිගැනීමක් ලැබෙනවා.

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
ලංකාවේ වැඩ දෙකකට විතර සම්බන්ධ වුණා. හරි අමාරුයි වැඩ කරන්න. නිරූපණයට තිබුණ පිළිගැනීම අඩුවෙලා තියෙනවා. මොකද ඕනම කෙනෙක්ට අද මොඩ්ල් කෙනෙක් ඡායාරූප ශිල්පියෙක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

විලාසිතා ගැන මොකද හිතන්නේ
ඇත්තටම මම හරි කැමතියි විලාසිතා කරන්න. මට ගැළපෙන විදියට හැමදේම තෝරා බේරාගෙන විලාසිතා කරනවා.

නිරූපණ ශිල්පිනියෙක් වුණහම ඇඟ නිරාවරණය වන ලෙස විලාසිතා කරන්න වෙනවා ඒ ගැන මොකද හිතන්නේ?
නිරූපණ ශිල්පිනියක් කියන්නේ ඕනම විලාසිතාවකින්  නිරූපණය කරන්න වෙන කෙනෙක්. ඒ හැම දෙයකටම නිසි පිළිගැනීමක් තියෙන්න ඕන.

කොටට ඇඟ පේන විදියට ඇඳුම ඇඳලා ෆොටෝ ෂූට් එකක් කළාට එයා මොඩ්ල් කෙනෙක් වෙන්නේ නැහැ.

‍පොඩි කා‍ලේ ඉඳන් හීන දැක්කෙ කවුරු වෙන්නද?
එක්කෙනෙක් කියලා නැහැ. ඩොක්ටර් කෙනෙක් වෙන්න. ගුවන් සේවිකාවක්, ව්‍යාපාරිකාවක් වෙන්න ආසාවකුත් තිබුණා. හැබැයි ඉගෙන ගන්න ආසාව තිබුණේ ගිණුම් අංශයෙන්.  අද ඒ පැත්තෙත් රැකියාවක් කරන නිසා ඒ හීනෙ ඉටුවෙලා තියෙනවා.

මේ වැඩත් එක්ක කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?
කාලය නම් මදි. ඒත් ඉතින් කොහොමහරි කාලය කළමනාකරණය කරගන්නවා. ගොඩක් වෙලාවට පාන්දර වෙනකම් නිරූපණ වැඩවලට සම්බන්ධ වෙනවා. නැත්නම් සති අන්තයේ තමයි ඒ වැඩවලට වෙන්කරන්නේ.

ලංකාවට ආවට පස්සේ රංගනයට  ආරාධනා ලැබුණේ නැද්ද?
වෙළෙඳ  දැන්වීම්වලට ආරාධනා ලැබුණා. රංගනයටත් ආරාධනා  ලැබිලා තියෙනවා. ලංකාවේ ඉන්න බලා‍පොරොත්තුවක් නැති නිසා ඒ සඳහා කාලය වෙන්කිරීමේ ගැටලුවක් තියෙනවා.

පේෂලාට ආසාවක් නැද්ද රංගනයට සම්බන්ධ වෙන්න?
ආසාවක් තියෙනවා. හොඳ  වැඩක් ලැබුණොත් සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තුවක් තියෙනවා.

ආදරය ගැන මොකද හිතන්නේ?
සුන්දරයි. හැමෝටම ආදරය අවශ්‍යයි.

දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?
ගෙදරින් නම් කියනවා. දැන් නම් කවුරුහරි හොයාගන්න කියලා.

පේෂලා කැමති ලංකාවේ කෙනෙක්ටද ඒ රටේ කෙනෙක්ටද?
මට රට ගැන ප්‍රශ්නයක් නැහැ. මාව තේරුම්ගන්න එකයි වඩා වැදගත් වෙන්නේ.

ලංකාවේ පදිංචි වෙන්න කැමැත්තක් නැද්ද?
කොහෙත්ම නැහැ. අපේ ලංකාව ලස්සන රටක්. ඒත් ජීවත්වන  මිනිස්සු ලස්සන නැහැ.

තිළිණි කරුණාරත්න
ඡායාරූප : චමිල කරුණාරත්න